Monday, July 27, 2015

නීරමුල්ලිය



විද්‍යාත්මක නාමය                             :-  Hugrophila auriculata
ශාකය අයත් උද්භිද විද්‍යාත්මක කුලය:- ACANTHACEAE
ඉංග්‍රීසි නම                                        :- Marsh Barbel
සංස්කෘත නම                                   :- ඉක්ෂුර
දේශීය නම                                       :- නීරමුල්ලිය/ කටුඉකිරිය

ආයුර්වේදයේ ශාක වර්ගීකරණය අනුව අයත් කුලය :- වාසා කුලය




පර්යාය නාම(භාවිත වන අනිකුත් නම්) :-
                           සංස්කෘත :- කෝකිලාක්ෂ, ඉක්ෂුර, ඉක්ෂුරක, ඉක්ෂුගන්ධා
                    හින්දි        :-ගෝකුලකණ්ට, තාලමඛානා
                    බෙංගාලි   :-කුලේඛාරා
                    ද්‍රවිඩ         :-නීරුමුල්ලි
ප්‍රභේද:- 
  • නිල් පැහැයට හුරු මල් සහිත වර්ගය 
  • සුදු මල් සහිත වර්ගය (මෙය දුර්ලභය )


කෑමට ගත හැකි කොටස්  :- පත්‍ර සහ නොමේරූ කඳ

වැවෙන ප්‍රදේශ :-
            ඉන්දියවේ සහ ලංකාවේ කුඹුරු, වැව් ආදී ජලාශ්‍රිත ප්‍රදේශයන්හි වැවේ. වියලි කලාපයන්හි වර්ෂා සෘතුවේදී වැවේ. ග්‍රීෂ්ම සෘතුවේදී මැරී යයි.

ව්‍යවහාර්ය අංග (ආයුර්වේදීය ඖෂධ සඳහා යොදා ගන්නා කොටස්):-
  මූල, පත්‍ර, බීජ, පංචාංගය, ක්ෂාර, භෂ්ම

රසායන සංයුතිය:- 
කොලෙස්ටරොල් නම් උප ක්ෂාරයක් ඇත. ක්වාථයෙහි KCL හා K2SO4 අධික වශයෙන් විද්‍යමානය. ඒ නිසා මුත්‍රාකාරකය.
මැංගනීස් ලවණ හා ස්ථායී තෛලයද ඇත්තේය. බීජ වල කසාවන් ස්ථිර් තෛල සහ albuminoid ද අල්ප මාත්‍රාවක් ක්ෂාරද අන්තර්ගතය.

සංග්‍රහ-සංරක්ෂණ :- 
ගසේ කටු සම්පුර්ණයෙන් වැඩුණු පසු ගස් උදුරා හොඳාකාර වියලා රුද්ධ භාජනයන්හි අසුරා තැන්පත් කළ යුතුයි. වාතාශ්‍රයෙහි තැබීමෙන් ගුණ හීන වේ.

මාත්‍රා :-

  • මුල් කශාය හෝ ශීත කෂාය කර්ෂ 1/2- 3
  •  ඇට චූර්ණය  කලං 1/2- 1

යෝග :- 
  • කෝකිලක්ෂ ක්ෂාරය (ශෝථ නිවාරක) , මාත්‍රාව මංචාඩි 7 1/2- 15 දක්වා, අනුපාන ගෝමූත්‍ර/ ජලය
  • ඉක්ෂුර-අර්ජුන තරල සාරය (හෘද් රෝහ, මූත්‍ර කෘච්ඡ්‍ර, වෘක්ක රෝගයන්හි යෙදේ.) මාත්‍රාව බිංදු 60-120 (මි.ලී 4-8 දක්වා)
  • ඉක්ෂුර ලේපය (පත්‍ර ප්‍රලේපය) ශෝථයෙහි යෙදේ.
  • කෝකිලක්ෂ බීජ චූර්ණය (වාජීකර) ඉකිරි ඇට සහ වඳුරු මෑ ඇට චූර්ණය සීනි සහ දාරෝෂ්ණ දුග්ධ සමඟ


ප්‍රතිනිධි :-ඩිජිටාලිස් වෙනුවට ප්‍රතිනිධියක් වශයෙන් යෙදිය හැක.

රස - මධුර, අම්ල, තික්ත
වීර්ය- ශීත
විපාක - මධුර
ප්‍රභාව (විශිෂ්ටත්වය ) - මුල් මෙන්ම ඇටද විශේෂ මූත්‍රල ප්‍රභාවයෙන් යුක්තයි.

දෝෂානුරූප කර්ම:- වාත පිත්ත ශාමකයි.

ව්‍යූහගත කර්ම (එක් එක් පද්ධතිය කෙරෙහි ඇති බලපෑම):-

  • නාඩි ව්‍යූහය (ස්වසන පද්ධතිය) -
    •  ඇට නාඩිබල්‍යයි (ස්නායු ප්‍රබෝධමත් කරයි)
  • අන්න පචන ව්‍යූහය (ආහාර ජීර්ණ පද්ධතිය) - 
    • අනුලෝමන
    • යකෘත් උත්තේජක (අක්මාව උත්තේජනය කරයි )
  • රක්ත සංවහන (රුධිර සංසරණ පද්ධතිය) 
    • ශෝණිතාස්ථාපන (රුධිරයේ තත්වය උසස් කරයි)
  • ප්‍රජනන ව්‍යූහය (ප්‍රජනන පද්ධතිය ) - 
    • ඇට වෘෂ්‍යයි
    • සන්තර්පණයි
  • මූත්‍රණ ව්‍යූහ (බහිස්ස්‍රාවී පද්ධතිය - 
    • මුල්, ඇට සහ කොළ මූත්‍රලයි.(මුත්‍රා ඇතිකිරීමේ හැකියාව සහිතයි)


ප්‍රයෝග :-
  • දෝෂ ප්‍රයෝග - 
    • වා පිත් දෙකින් උපදනා තෘෂ්ණා, දාහ වැනි ලෙඩ වලදී යොදා ගනු ලබේ.
  • නාඩි ව්‍යූහය (ස්වසන පද්ධතිය)- 
    • නාඩි දෞර්බල්‍ය (ස්නායු දුර්වල වීම) 
    • වාත ව්‍යාධි (වාත රෝග)
    • ආමවාත
        • යන මේවා විෂයෙහි බීජ ප්‍රයෝගය ඉෂ්ටය.
  • අන්න පචන ව්‍යූහය (ආහාර ජීර්ණ පද්ධතිය) -
    • කාමලා (හෙපටයිටිස්)
    • යකෘතෝදර
    • යකෘතයේ අවරෝධ ජනිත ශෝථ (අක්මාවේ අවරෝධ නිසා ඇතිවන ඉදිමුම්)
    • පිත්තාතීසාර (පිත ප්‍රමුඛ වීමෙන් ඇතිවන අතීසාරය)
    • ආනාහ 
      • යන මේවයෙහිදී මුල් හා කොළද ජලෝදරයේදී ක්ෂාරයද ප්‍රවාහිකාවේදී ඇටද ප්‍රයෝග කළ හැකිය.
  • රක්ත සංවහන (රුධිර සංසරණ පද්ධතිය) 
    • රක්තපිත්ත
    • වාත රක්ත
    • රක්තාල්පතා (නීරක්තිය)
      • යන මේවායෙහිදී උපයෝගී වෙයි.
    • කැස්සේදී මෙන්ම වාතරක්තයේදීද පත්‍ර ශාකය (කොළපලාව ) කෑමට දිය හැකිය. 
    • ශෝථයේදී මූලක්වාථයද (ගෝ මූත්‍ර සහිතව ) පංචාංග ක්ෂාරයද යොදනු ලැබේ.
  • ප්‍රජනන ව්‍යූහය (ප්‍රජනන පද්ධතිය ) -
    • ශුක්‍ර දෞර්බල්‍ය (ලිංගික දුබලත්වය)
    • ක්ලෛව්‍ය (ජනනේන්ද්‍රිය විකාර ) 
    • ස්තන්‍ය ක්ෂය (මව්කිරි නැති වීම)
      • යන මේවාට බීජ චූර්ණය හිතයි.
  • මූත්‍රණ ව්‍යූහ (බහිස්ස්‍රාවී පද්ධතිය - 
    •  මූත්‍ර කෘච්ඡ්‍ර (මුත්‍රා ස්වල්ප වශයෙන් පිටවීම)
    • අශ්මරී (වකුගඩු ගල්)
    • වස්තිශෝථ 
      • යන මේවාහිදී මුල්, කොළ, ඇට යන මේවා ප්‍රයෝග කරනු ලැබේ. 
      • පංචාංග ක්ෂාරය මූත්‍ර කෘච්ඡ්‍ර ,අශ්මරී  යන දෙකෙහිම යෙදිය හැක.
මාත්‍රා :-
  • පංචාංග ස්වරසය- තෝලා 2-5
  • මූල ක්වාථය- තෝලා 4
  • බීජ චූර්ණය - මාෂක 2-4
  • ක්ෂාරය - රක්තිකා 2-5
  • භෂ්මය - මාෂක 1-2

ආමයික ප්‍රයෝග (භාවිත කරන රෝග අවස්ථා):-
  • අශ්මරි (වකුගඩු වල ගල් සෑදීම) - 
    • ගොකටු, ඉකිරි, එරඬු යන තුන් වර්ගයේ මුල් වල චූර්ණය (හොඳින් කුඩු කරගත් ඖෂධ) කිරි සමඟ බීම
  • වාජීකරණයට -
    •  වඳුරු මෑ ඇට , ඉකිරි ඇට, සීනි යන යෝගය ධාරෝෂ්ණ සමඟ බීම
  • උදරය වේදනාවට - 
    • එරබදු, ඉකිරි, කරල් සැබෝ යන මේවායේ ක්ෂාරය තල තෙල් සමඟ බීම
  • සුඛ ප්‍රසවයට (පහසුවෙන් දරු ප්‍රසූතිය සිදුවීමට) - 
    • ඉකිරි මුලක් සීනි සමඟ විකා (සපා ) එයින් කන පිරවීමෙන් සුඛ ප්‍රසූතිය සිදුවේ.

තොරතුරු ගත්තේ මේ වෙබ් අඩවියෙන් සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය 2,3 කොටස් වලින්